අලුත උපන් ඔබේ පැටියාට BCG එන්නත ලබා දීමේ වැදගත්කම ගැන ඔබ දන්නවාද?

By: - 2019 පෙබරවාරි 5
baby


"මේ පුංචි පැටවුන්ට බෙහෙත් විදින්න වෙන එක තමයි හිතට දුක. බොන්න බෙහෙතක් තිබුන නම් අපි කොහොමහරි පොවා ගන්නවා. රිදෙනවා කියලා කියන්නවත් තේරෙන්නේ නැහැනේ" අලුත උපන් පුංචි පැටියෙක් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ටම පැටියට බෙහෙත් විදිනවා කියන්නේ බොහොම දුක්බර අවස්ථාවක්. අනේ මගේ පැටියට රිදෙනවා නේද කියලා හිතනවා. උණ ගනීවි, නවත්වන්නේ නැතුව අඩාවි එක එක විදියේ දුක්බර සිතුවිලිවලින් හිත පිරිලා. ඒ කොහොම උනත් අපේ අම්මලා කිසිම කෙනෙක් දරුවට බෙහෙත් විදින එක නම් අතපසු කරන්නේ නැහැ. දුක බය මැද්දේ වුනත් අදාළ කාඩ් පතට අනුව එන්නත් ලබා දෙනවා. මොකද එන්නත් මගින් දරුවෙකුට ලැබෙන රැකවරණය ඔවුන් දන්න නිසා.

ලංකාවේ අලුත උපන් දරුවෙකු රෝහලෙන් නික්ම යාමට ප්‍රථම අනිවාර්යයෙන් BCG එන්නත ලබා දෙනවා. ඒ නිසා අපි හිතුවා BCG එන්නත සහ BCG එන්නත් කිරීමේ වැදගත් කම ගැන ඔබට පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා.

BCG (Bacillus Calmette–Guérin) එන්නත ලබාදෙන්නේ ක්ෂය රෝගය (Tuberculosis) වැලැක්වීමේ අරමුණෙන්. Mycobacterium tuberculosis යන නමින් හැඳින්වෙන බැක්ටීරියාව තමයි ක්ෂය රෝගය ඇතිකරන්නේ. BCG එන්නත ලබාදීම මගින් ක්ෂය රෝගයේ සංකූලතාවයන් වන පුප්පුශීය ක්ෂයරෝගය (Pulmonary Tuberculosis), මොළයේ ආවෘති පටලවල ඇතිවෙන ක්ෂයරෝගය හෙවත් මොළයේ උණ (TB meningitis) සහ ශරීරය පුරා පැතිරෙන ක්ෂය රෝගය (Miliary TB) යන ක්ෂය රෝග අවස්ථා වැලැක්වීම සිදු කෙරෙනවා.

සාමාන්‍යයෙන් අලුත ඉපදුණු බිලිඳුන්ට රෝහලෙන් පිටවීමට පෙර ලබා දෙන මෙම BCG එන්නත කුමන හෝ හේතුවක් මත ලබා දීමට නොහැකි වුවහොත් මාස 6 සිට අවුරුදු පහ දක්වා කාලය තුළදිත් ලබාදීම සිදු කෙරෙනවා. නමුත් BCG එන්නත ලබා නොදෙන අවස්ථා ද කිහිපයකි.

BCG එන්නත ලබා නොදෙන අවස්ථා,
  • උපත් බර ග්‍රෑම් 2000 ට අඩු වීම
  • ආජන්මය ප්‍රතිශක්ති ඌනතා (Congenital Immune deficiencies) ඇති බවට සැක කිරීම
  • Tuberculin Skin test සඳහා අධි සංවේධිතා තිබීම
  • දැනට ක්ෂය රෝගය පවතින හෝ අතීතයේදි වැළඳී තිබීම
  • HIV ඒඩ්ස් ආසාදිතයන් වීම
  • Interferon, gamma deficiency, Di George syndrome වැනි ප්‍රාථමික සහ ද්විතීයික ප්‍රතිශක්ති ඌනතා සහිත වීම
  • බරපතල/අසාමාන්‍ය ආසාධන තත්ත්වයක් ඇති වූ විට
  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ තත්ත්වයන් ඇති විට

ඊට අමතරව, මින් පෙර ප්‍රසුතියකින් පසුව දරුවෙකු හදිසියේම මිය ගිය අවස්ථා ඇත්නම් සහ ඔබේ වෛද්‍යවරයාට ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන්නට වග බලා ගන්න. තවද ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂයක් ඇති විට BCG එන්නත ලබා නොදෙන්නේ ක්ෂය රෝගය ආසාදනය වීමේ හැකියාවක් ඇති බැවිනි.

BCG එන්නත ලබා දෙන්නේ දරුවන්ගේ වම් අතේ ඉහළම කොටසේ ඇති මාංශ පේශියට යාබදව සමේ ඉහළ ස්තරය තුළට. එන්නත විදීමෙන් පසුව එකවරම කිසිම කැළලක් හෝ ගෙඩියක් නොතිබුණත් ඒ ස්ථානය අතගා බැලු විට සති 2-6 කින් පමණ පසු සියුම් ගැටිත්තක් අතට හසු වෙනවා. ඉතාමත් සෙමින් මෙම ගැටිත්ත රතු පැහැ ගෙඩියක් බවට පත් වී සැරව පිරෙන අතර එක් එක් දරුවාගෙන් දරුවාට ගැටිත්තේ ප්‍රමාණය වෙනස් විය හැකිය. සමහර දරුවන්ගේ 1cm පමණ ගැටිති දකින්නත් හැකිවෙනවා. එසේ වුවද ඒ හේතුවෙන් මව්වරු කලබලයට පත් විය යුතු නොවේ. මව්පියන් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේ ආකාරයට සැරව පිරුණු ගැටිත්ත කිසි විටක පිපිර වීමට හෝ යම් යම් දේ ආලේප කිරීමට හෝ ප්ලාස්ටර් ඇලවීමට හෝ සම්බාහනය කිරීම/මිරිකීම හෝ කිසිසේත්ම නොකළ යුතු බවයි.

සමහර දරුවන්ගේ එන්නත් කල ස්ථානයේ බිබිලක් ඇතිවීම, පැලීම, සැරව ගැලීම" යන සංසිද්ධිය කිහිප විටක් වුවද ඇති විය හැකිය. ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකි.

මාස 6ක් ඇතුලත ගැටිත්තක් හෝ කැලලක් ඇති නොවුනහොත් ලංකාවේ වසංගත රෝග නිවාරණ ඒකකයේ අනුබල පරිදි නැවත දරුවාට BCG එන්නත ලබාදිය යුතුය. නමුත් වැඩිහිටියන්ගේ මේ BCG කැලල නොමැති නම් නැවත එන්නත් කිරීම අනවශ්‍යයි.

BCG එන්නත ලබාදීමෙන් පසු වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථා,

  • වසා ගැටිති ඉදිමීම
  • උණ
  • මුත්‍රා සමග රුධිරය පිටවීම
  • වේදනා සහිතව වරින් වර මුත්‍රා පිටවීම
  • උදරයේ අපහසුතා/උදරයේ වේදනාව
  • වමනය ඇති වීම
  • වම් අත යට හෝ බෙල්ලේ වම් පස කුද්දැටි ඇති වීම (ඉතාම කලාතුරකින් දැකිය හැකි තත්ත්වයකි)
කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More