අලුත උපන් දරුවන්ගේ ලිංගික අවයව සාමාන්‍ය තත්ත්වයේ තිබේද යන්න පිළිබඳව ඔබ දැනුවත්ද?

By: - 2019 පෙබරවාරි 27
baby


අලුත උපන් දරුවෙකු තුළ යම් යම් අසාමාන්‍යතා පවතීද යන්න පිළිබඳව දැන ගැනීමට නම් මව්වරුන් ඒ පිළිබඳව දැනුවත් විය යුතුමය. මේ හා සම්බන්ධ නොයෙක් තත්ත්වයන් පිළිබඳව සාකච්ජා කෙරුණු අතරම මෙම ලිපියේ අරමුණ වන්නේ දරුවන්ගේ ලිංගික අවයව සම්බන්ධව මව්වරුන් දැනුවත් කිරීමයි.

ගැහැනු දරුවා

ගැහැණු ලිංගික පද්ධතිය තුළ ප්‍රධානව මුත්‍රා මාර්ගය හා යෝනි මාර්ගය පිහිටා ඇති අතරම එහි ක්ලයිටොරිස් (Clitoris) සහ එම අවයව වටා සමෙන් ඇති වූ ආවරණ දෙකක් ද වේ. මේ අතරින් තෙතමනය පවතින කොටස ලේබියා මයිනෝරා (Labia Minora) ද වියලි සාමාන්‍ය සම ලේබියා මෙජොරා (Labia Majora) ද ලෙස හැඳින් වේ. කන්‍යා පටලය ගැහැණු දරුවන්ගේ යෝනි මාර්ගයේ ආරම්භයේම පිහිටා ඇති අතරම යෝනි මග දෙපස ලිහිසි ද්‍රව්‍ය ශ්‍රාවය කරනු ලබන බාතෝලියන් සිස්ට් (Bartholian Cyst) නම් ග්‍රන්ථ දෙක පිහිටා ඇත.

ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත දැකිය හැකි අසාමාන්‍යතා


  • අලුත උපන් දැරියකගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම
  • අලුත උපන් ගැහැනු දරුවෙකුගේ යෝනි මාර්ගයෙන් සුළු රුධිරය වහනයක් සිදු විය හැකි අතරම එය මවගේ හෝමෝනවල බලපෑම මත සිදුවන්නක් නිසා මව්වරුන් කලබලයට පත් විය යුතු නැත. එය දින කිහිපයකින් මගහැරී යයි. නමුත් රුධිරය සමග සැරව හෝ දුගදක් වේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතුය. එසේම රුධිර වහනය අධික නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීමට වග බලාගන්න.

  • ලේබියල් ඇඩ්හිෂන්ස් (Labial Adhesion)
  • උපතින් ඇති වන රෝග තත්ත්වයක් නොවන මේ තත්ත්වය ගැහැනු දරුවන්ගේ ලිංගාශ‍්‍රිතව දැකිය හැකි සුලබ තත්ත්වයක් වන මෙම තත්ත්වයේදී ලිංගික පද්ධතිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැසී ඇති අතරම එසේ සිදුවන්නේ තෙතමනය සහිත ලේබියා මයිනෝරා දෙක සුළු සීරීමකට හෝ අසාදනයකට ලක්වීමෙන් එකට ඇලීම නිසාය. මෙහිදී මුත‍්‍ර විවරය හෝ යෝනි විවරයද සම්පූර්ණයෙන්ම හෝ මදක් වැසී යා හැකි අතරම මුත‍්‍රා/යෝනි ශ‍්‍රාවයන් මග රැඳීම හේතුවෙන් ආසාදනයට ලක් වී කැසීම/දුඟද ඇති විය හැකිය. මෙය මුත්‍රාශය/වකුගඩුවල ආශ්‍රිතව අසාදන ඇති කිරීමට වුවද හේතු විය හැකිය. වැඩිවිය පත් ගැහැණු දරුවන් තුළ මේ තත්ත්වය ඇති නොවන්නේ ඊස්ට‍්‍රජන් /ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මේ තත්ත්වය වලක්වන නිසයි. කුඩා ගැහැනු දරුවකුගේ මේ තත්ත්වය සුව අතට හැරුණද වැඩි විය පැමිණෙන තෙක් විටින් විට ඇති විය හැකිය. මේ තත්ත්වයේදී ඊස්ට‍්‍රජන් හෝමෝනය අන්තර්ගත ආලේපන වර්ගය නිර්දේශ කරන අතරම වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීම අනිවාර්යය.

  • කන්‍යාපටලයේ සිවිය වැඩිපුර පැවතීම (Hymnal tags)
  • මේ තත්ත්වයේදී රත් පැහැ හෝ ආසාදන තත්ත්වයක් ලෙස පිහිටිය හැකිය. මේ සඳහා සුළු ශල්‍යකර්මයක් සිදුකල යුතු වේ.

    යෝනි විවරය වැසී පැවතීම (Imperforate Hyman), බාතෝලියන් ග්‍රන්ථ ඉදිමීම, මුත‍්‍ර මාර්ගයේ බිත්තිය පහළට වැටීම (Urethral Prolapse), මුත්‍රා මාර්ගයේ ඇති වන වතුර ගෙඩි (Urethral Cysts), ගුද මාර්ගය යෝනි මාර්ගය ආසන්නයේ පිහිටීම, ගුද මාර්ගය යෝනී විවරය තුළ පිහිටීම වැනි අවස්ථාද ඇති අතරම මෙවැනි තත්ත්ව වලදී විශේෂ සැත්කම්වලට වුවද යොමු කිරීමට සිදු විය හැකිය.

    පිරිමි දරුවා

    පිරිමි දරුවෙකුගේ ලිංගේන්ද්‍රිය රුධිරය පිරීමෙන් ප‍්‍රාණවත් වන කොටස් තුනක් සහ පෙරහම ලෙස ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකි. මුත‍්‍රා වාහිනිය මැද ඇති දණ්ඩ (Copora Sopngiosun) මැදින් පිහිටන අතර එහි කෙලවර ගෝලාකාර (Glans) ය. පෙරහම පිහිටා ඇත්තේ මේ සියලු ආවරණය වන පරිදිය.

  • සාමාන්‍යයෙන් වයස අවුරුදු තුන පසු වන විට පෙරහම ගැලවී එහි විවරය පළල් වී සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ මෙන් සම්පූර්ණයෙන්ම පිටුපසට කළ හැකි තත්ත්වයට පත් විය යුතු අතරම එසේ සිදු නොවන විට පෙරහම ඉවත් කිරීමට සිදු විය හැකිය. පෙරහම පිටුපසට නොයෑම නිසා ඇතුළත අපද්‍රව්‍ය එක්වී සුදු පැහැ කුඩු වර්ගයක් වැනි (Smegma) එකතු වීමෙන් ආසාදනයට ලක්ව පෙරහම පැසවීමට (Balanits) ඉඩ ඇත. මෙය වයස අවුරුද්දට අඩු දරුවන්ගේ වකුගඩු ආසාදනයකට ලක්වීමට පවා බලපෑ හැකි හේතුවක් විය හැකිය. ඒ හේතුවෙන් නිතර මුත්‍රා මාර්ගය ආසාධනයට ලක්වන දරුවන්ගේත් සැරව හෝ ලේ හෝ ගැලීමක් දක්නට ඇති දරුවන්ගේත් පෙරහම හා ශිෂ්ණය ඉදිමීමට ලක්වන දරුවන්ගේත් මුත‍්‍රා පහ කිරීමේදී අධික වේදනාවට පත්වන දරුවන්ගේත් වකුගඩුවල සංකූලතා ඇති දරුවන්ගේත් පෙර සම ඉවත් කිරීම සිඉදු කෙරේ.
  • මුත‍්‍ර විවරය නිසි තැන නොපිහිටීම
  • මුත‍්‍ර විවරය ශිෂ්ණයේ නිසි තැන නොපිහිටා පහළින් පිහිටීම (Hyposapdias) සංකීර්ණ තත්ත්වයක් වන අතරම මේ තත්ත්වය එක් එක් ලිංගික දුර්වලතා හේතුවෙන්ද ඇති විය හැකිය. එනම් ශිෂ්ණය කුඩා වීම, වක්‍ර ශිෂ්ණ (Chorde Penis) පිහිටීම, දෙබිඩි වෘෂණ කෝෂ (Bifid Scrotum) යනාදියයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ශල්‍යකර්ම වෙත යොමු වීමට සිදු විය හැකිය.

  • වෘෂණ, වෘෂණ කෝෂ කරා ගමන් කළ සිදුර (Deep Ingualring) නොවැසීම
  • කලලයක වෘෂණ සෑදෙන්නේ වකුගඩු ආශ‍්‍රිතව උදරයේ ඉහළ කොටසේය. කලලය වර්ධනයත් සමග වෘෂණ, වෘෂණ කෝෂ කරා ගමන් ගන්නේ කුස තුළ ඇති සිදුරක් (Deep Ingualring) හරහා වන අතර ඒ කාර්යයෙන් පසු එම සිදුර සහ මාර්ගය (Inguinal Canal) වැසී යාමට නියමිත වුනත් ඇතැම් විට එය නොවැසී පැවතිය හැකිය. එවිට ඒ සිදුර හරහා බඩවැල් පිටතට පැමිණිම (Hernia) දියර පිටතට ගලා ඒම වැනි තත්ත්ව උද්ගත විය හැකිය. මෙවැනි තත්ත්වවලදී ඉක්මනින් වෛද්‍ය උපදෙස් වෙත් යොමු විය යුතුය.

    එසේම කළලයේ වර්ධනයත් සමග වෘෂණ පිටතට පැමිණිය යුතු අතරම එසේ නිසි ලෙස පහළට නොබසින වෘෂණ අසාමාන්‍ය උෂ්ණත්වයන්ට මුහුණපාන බැවින් එහි ක‍්‍රියාකාරීත්වයට බාධා ඇති විය හැකිය. එවිට මෙම වෘෂණ, පහළට බහින මාර්ගයේ ඕනෑම තැනක ද පිහිටිය හැකිය. එබැවින් ඔබේ දරුවා නිසි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමත් ඒ අනුව ප්‍රතිකාර කිරීමත් කළ යුතුය.

    ගැහැනු පිරිමි දරුවන් දෙකොටසටම පොදු අවස්ථා

    එසේම ගැහැනු දරුවන් ලිංගිකව පිරිමි දරුවන් ලෙසද පිරිමි දරුවන් ලිංගිකව ගැහැනු දරුවන් ලෙසද දැකිය හැකි අවස්ථාද ඇති බැවින් අවශ්‍ය සැත්කම් වෙත යොමු කිරීම සිදු කෙරේ. මෙවැනි තත්ත්වයන් සඳහා ඉක්මන් ප්‍රතිකාර කළ යුත්තේ දරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය බැවිනි.

    එසේම ගැහැනු මෙන්ම පිරිමි දරුවන්ගේ දරුවන්ගේ පියයුරුවල කිරි නිපද වීමේ තත්ත්වය මවගේ හෝමෝන ක්‍රියාකාරිත්වය මත සිදුවිය හැකිය. මෙය සාමාන්‍ය තත්ත්වයක් වුවත් ඇතැම් වැඩිහිටියන් ඒවා මිරිකා ඉවත් කරන ලෙස උපදෙස් ලබාදේ. නමුත් මිරිකිමේදී පටක හානි වීමෙන් ආසාධන තත්ත්වයන් ඇති වී අසාධ්‍ය තත්ත්වයට වුවද පත් විය හැකිය. මෙවැනි අවස්තාවලදී වඩා වටින්නේ වටපිටාවෙන් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීම නොව නිසි වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාත්මක වීමයි.

    Terms and conditions

    All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More