පියයුරේ කිරි තදවීම නිසා ඇති වන ආසාදන තත්ත්වය මග හරවා ගැනීමට මුල සිටම මේ උපදෙස් පිළිපදින්න

By: - 2019 මැයි 10
baby


දරු පැටියෙක් බිහිවූ පසු මුල් දින කිහිපය ඕනෑම මවකට යම්තාක් අපහසුතා ගෙන දෙන කාලයක් බව සබෑය. පැටියාට කිරි ලබා දීම බොහෝ මව්වරුන්ට අපහසු කාර්යයක් වන්නේ ඒ පිළිබඳව නිසි දැනුමක් නොමැති වීම නිසා බව පිළිගත යුතුම කරුණකි. ඒ හේතුවෙන්, දරුවාට මෙන්ම මවටද යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි අතරම එවැනි තත්ත්වයක් ලෙස මවකගේ පියයුරේ කිරි තදවීම දැක්විය හැකිය.

දරු ප‍්‍රසූතියෙන් පසු බොහෝ මව්වරුන් නිවැරදි ඉරියව්වේ පිහිටා කිරි ලබා නොදීම නිසා කිරි තද වීම සිදු විය හැකි අතරම ඒ සඳහා බලපාන වෙනත් හේතුද කිහිපයකි.

  • කිරි වැඩි ප‍්‍රමාණයක් තිබීම
  • කිරි දීම ආරම්භ කිරීම ප‍්‍රමාද කිරීම
  • පියයුරට දරුවා දුර්වල ලෙස සම්බන්ධ වීම
  • කිරි නිතර නිතර ඉවත් නොවීම
  • කිරි බොන කාලය සීමා කිරීම
කිරි තද වීමට ප‍්‍රතිකාර

මේ තත්ත්වයේදී කිරි දොවා අස් කිරීම අත්‍යවශ්‍ය ප‍්‍රතිකාරයකි. කිරි අස් නොකළහොත් පියයුරේ ආසාධනය තත්ත්වයන් ඇති වීම, සැරව ගෙඩි සෑදීම, කිරි නිපදවීම අඩු වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මේ නිසා පියුයර විවේකීව නොතබා කිරි ඉරීමේ හැකියාව ඇති දරුවෙක්ට නම් නිතර නිතර කිරි බීමට සැලැස්විය යුතුය. පියයුරේ පිරෙන කිරි අස් කිරීමට සුදුසුම ක‍්‍රමය එයයි. පියයුරට හොඳින් සම්බන්ධය ඇති වන සේ නිවැරදිව දරුවා ස්ථාපිත කිරීමට මවට අනෙක් සාමාජිකයන්ගේ සහයෝගය අවශ්‍ය වනු ඇත. එහිදී ඇයගේ මවගේ ආත්ම ශක්තිය ගොඩ නංවන්න. ඇයට ඉතා ඉක්මණින් සාමාන්‍ය ලෙස මව්කිරි දීමට හැකි බව පහදන්න.

හිර වූ නාල හා පියයුරු ප‍්‍රදාහයකදී පෙන්වන ලක්‍ෂණ

පියයුරෙහි කිරි තද වූ විටත් ක්‍ෂීර නාල සිරවීම නිසාත් පියයුරුවල ප‍්‍රදාහයක් ඇති වේ. පියයුරේ කොටසකින් කිරි අස් නොවීම ක්ෂීර නාල සිරවීමට හේතු වේ. පියයුරෙහි මෙම කොටස හා සම්බන්ධ නාලය ඝන වූ කිරිවලින් අවහිර වේ. ස්පර්ශ කරන විට වේදනාව ඇති වන අතර සමහර විට රත් පැහැයක්, ගෙඩියක් ඇති වීම සිදු විය හැක. මවට උණ නොමැති අතර ශරීරයට අපහසුවක් නැත. කිරි තද වීම නිසා කිරි ගලන්නේ නැතිව එක් රැස්වීම කිරි එක්තැන් වීම ලෙස ද හඳුන්වයි. මෙම කිරි අස් නොකරන්නේ නම් ඒ හේතුවෙන් පියයුරු පටකවල ඉදිමුමක් හටගනී. මෙය ආසාදන රහිත පියයුරු ප‍්‍රදාහය ලෙස හඳුන්වයි.

ක්‍ෂුද්‍ර ජීවී ආසාධනය නිසා පියයුරු ආසාධනය වීම ආසාධිත පියයුරු දාහය ලෙස හඳුන්වයි. මෙහිදී සැරව ඇති විය හැක. මේ තත්ත්වයේදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා ඒ උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යය.

මේ තත්ත්වයට හේතු ලෙස,

  1. සම්පූර්ණ පියයුරේ හෝ කොටසක කිරි ගලා ඒම දුර්වල වීම.
  2. එසේ සිදුවන්නේ නිතර කිරි නොබීම, කිරි ඉරීම සාර්ථක නොවීම, තන පටය නිසා ඇති වන පීඩනය, කිරි දෙන විට ඇඟිලිවලින් පියයුරු තෙරපීම, පියයුරේ විශාලත්වය නිසා කිරි ගැලීම දුර්වල වීම යන හේතු නිසා විය හැක.

  3. මානසික ආතතිය හා වැඩ බහුල වීම මත කිරි දෙන වාර ගණන අඩු වීම, කිරි දීමට ගතවන කාලය අඩු වීම
  4. පියයුරුවලට සිදුවන අනතුරු (පටක තුවාල වීම)
  5. තන පුඩුව තුවාල වීම (ක්‍ෂුද්‍ර ජීවී ආසාධන විය හැක)

මේ තත්ත්වය සඳහා ප‍්‍රතිකාර

පියයුරෙන් කිරි ගැලීම වැඩි කිරීමට පියවර ගන්න. ළදරුවා දුර්වල ලෙස සම්බන්ධ වන්නේ නම් එම ස්ථාපිතය වහා නිවැරදි කරගන්න. එවිට දරුවා සාර්ථකව කිරි උරා බොන නිසා තන පුඩුව තුවාල නොවේ. එසේම ඇඳුම්, ඇඟිලි නිසා ඇතිවන පීඩනය වළක්වා ගැනීමට ඒ සම්න්බන්ධව සැලකිලිමත් වෙන්න. තවද දරුවාට නිතර නිතර මව්කිරි ලබාදෙමින් (සැරව සහිත නම් නොදිය යුතුය) පියයුර හිස් කරගැනීමටත් තන පුඩුව දෙසට පියයුරු මෘදු ලෙස සම්භාහනයත් උණුසුම් වෙළුම් යෙදීමත් මේ තත්ත්වය මග හරවා ගැනීමට කළ හැකි ප්‍රතිකර්මය.

දරුවා සිටින්නේ කිරි උරා බිමට අපහසු තත්ත්වයක නම් තම අත භාවිත කිරීමෙන් හෝ පියයුරු පොම්පයක් උපකාර කරගැනීමෙන් කිරි දෙවීම මවට කළ හැක. සමහර විට බිළිඳාට කිරි උරා බීමට පහසුවන තරම් පියයුරු මොළොක් කරගැනීමට කිරි ටිකක් අස් කිරීම පමණක් සෑහිය හැකිය.

කිරි දීමට හෝ කිරි අස් කිරීමට පෙර මවගේ ඔක්සිටොසින් ප‍්‍රතීකය උත්තේජනය සඳහා උපදෙස්

  • උණුසුම් රෙදි කැබැල්ලක් පියයුර මත තබන්න. නැතහොත් උණු දිය ස්නානයට සලස්වන්න.
  • මවගේ බෙල්ල හා පිට සම්භාහනය කරන්න.
  • මවගේ පියයුර මෘදුව සම්භාහනය කරන්න.
  • මවගේ පියයුර හා තන පුඩවේ සම උත්තේජනය කරන්න.
  • සහනදායීව සිටීමට මවට උදව් කරන්න.
  • උණු දිය ස්නානයෙන් පසු මව්කිරි වෑස්සීම සිදු විය හැක. කිරි උරාබීමට සුදුසු තරමට පියයුරු මොළොක් වේ.

මව්කිරි දීමෙන් පසු ශීත රෙදි කැබැල්ලක් (පිරිසිදු) පියයුර මත තැබීම ඉදිමුම් ගතිය අඩු වීමට උපකාරී වේ. අතිරේක ප‍්‍රතිකාර අවශ්‍ය වන්නේ පළමු අවස්ථාවේ ලක්‍ෂණ දරුණු ලෙස ඇති වීම, විෂබීජ ඇතුළු විය හැකි තුවාල තන පුඩුවේ තිබීම, කිරි ගලා ඒමට සැලැස් වුවද පැය 24ක් තුළ සුව නොවීම වැනි තත්ත්වයන්හිදීය. මෙවැනි තත්ත්වයකදී මවට නිසි ලෙස විවේකය අවශ්‍ය වන අතරම පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිතයෙන් වේදනාව අවම කරගත හැකිය. කෙසේ වුවද වෛද්‍ය ප්‍රතිකාර මත අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුතු අතරම බිය හෝ ලැජ්ජාව මත වෛද්‍යවරයෙකු හමු නොවී නිසි උපදෙස් ලබා නොගැනීම තත්ත්වය දරුණු වීමට හේතු විය හැකිය.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More