ළදරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මවක් ලෙස ඔබ මේ කරුණු ගැන අනිවාර්යෙන්ම සිතන්න

By: - 2019 ජනවාරි 3
baby


අම්මාගේ කුස සැතපිලා සිටිය පුංචි පැටියා දැන් මේ ලෝකයට ඇවිත්. කිරිකැටියාට මේ අලුත් පරිසරය බොහොම වෙනස්. මානසිකව වගේම ශාරිරිකවත් ඔවුන් අලුත් පරිසරයට හැඩ ගැසෙන්න ඕන. ඉතින් අපි අම්මලා විදිහට මේ කිරි කැටියාට සෙනහසේ සුමුදු මුදු පහස ලබා දෙන්නේ කොහොමද....?

පැටියාගේ ඇඳුම්

ඉස්සර කාලෙය් වැඩිහිටියන් එක දැනමුතුකමක් තමයි බිලින්දාගේ රෙදි පෙරදි හැන්දෑවෙන්න ඉස්සරින් ගෙට ගන්න කියන එක. ඒ වගේම රෙදි මිරිකන්න එපා කියනවා. ඉතින් මේ කටයුතුවල යම් ඇත්තක් තිබෙනවා. රෑ වෙද්දී බිලිදු පැටියාගේ රෙදිවල කෘමින් එහෙම හිටියොත් අපිට පේන්නේ නැහැ. එතකොට ලපටි සමට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම රෙදි මිරිකුවාම ඇති වෙන රැලි නිසා ළදරුවාට විවිධ අපහසුතාවයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන්නැති කිරිකැටියා හේතු නැතුව අඩන්න පටන් ගන්නේ...මේ නිසා හොඳම දේ තමයි කිරිකැටියාගේ ඇඳුම් දවල් කාලයේ වේලා ගැනීම වගේම හොඳින් මැදලා රැලි නැති වෙන විදිහට සකස් කර ගැනීමට අම්මලා වග බලා ගත්තොත් සෙනහසේ සැබෑ මුදු පහස ළපටියාට ලබා දෙන්න පුළුවන්.

අම්මාගේ ඇඳුම් පැළඳුම්

කිරි කැටියාට අම්මාගේ කිරි තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඒ නිසා ළමැදට තුරුළු කර ගෙන කිරි දෙන විට අම්මාගේ ඇඳුම් පැලඳුම් වගේම ඉරියව් ඉතාම වැදගත්. බෙඩ් ජැකට් එකේ තියෙන බොත්තම්, කටු වගේ දේවල් නිසා කිරිකැටියාගේ මුදු සමට තුවාල වීම්, සිරීම් ඇති වේවි. ඒ වගේම අම්මාගේ හිසකෙස් දරුවාගේ කටට ඇතුළු වේවි...නියපොතු ටිකක් අපිරිසිදුව හෝ දිගට තිබුනොත් අපේ පැටියාට ඒවායිනුත් තුවාල සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අම්මලා මේවා ගැනත් ටිකක් වග බලා ගැනීම හොදයි නේද...?

කිරි දෙන ඉරියව්ව...

කිරි දෙන අවස්ථාවේදීත් අම්මාගේ සහ දරුවාගේ මනෝමය බන්ධනය නිසා දරුවාගේ පෞර්ෂයේ වර්ධනය ඇති වෙනවා. එක් පැත්තකින් කායික වර්ධනය වෙන අතරම තවත් විදිහකට තමාට ආදරය, ආරක්ෂාව සහ රැකවරණය ඇති වේය යන මානසික ශක්තිය නිසා අනාගතයට පෞර්ෂයෙන් පූර්ණ දරුවෙක් දායාද කිරීම ඉතාම පහසුයි.

අම්මාගේ පියයුරේ තනපුඩුව වගේම කලු පැහැති "ඇරියෝලාව" ළදරුවාගේ මුඛයට ඇතුළු වෙන විදිහට දරුවාගේ නිකට පියයුරේ ස්පර්ෂවත් සහ මුව හොඳින් විවරවත් තිබෙන්න ඕන. තොල පිටතට පෙරලී තිබීමත් වැදගත්. කිරි බිව්වාට පස්සේ පැටියාගේ පපුව සෙමෙන් කීප විටක් පහතට අතගාන්න. කුස පිරී දරුවා පියයුරෙන් ඉවත් වුනාම කුස මවගේ හේ පියාගේ උරහිසට තෙරපෙන ආකාරයට තබා ගෙන "ගුඩුස් යැවීම" කරන්න ඕන. ගුඩුස් යවද්දී කිරි උරා බොන විට දරුවාගේ කුසට ඇතුළු වුණු වාතය පිට වෙනවා. ඒ නිසා පුංචි පැටියාට බඩ පිපීම, කිරි වමනය, ඉක්කාව සහ නිතර ඇඹරීම වැනි අපහසුතාවයන්ගෙන් ආරක්ෂා කර ගන්න පුළුවන්.

කිරිකැටියා, කිරි උරා බොන විට නිවරැදි ඉරියව්වලින් තබා ගැනීමත් වැදගත්. එහෙම නැත්නම් '' ඉස්මොල්ලේ යෑම " කියන කිරි නාසයෙන් හෝ කටින් පිටවෙන තත්වය ඇති වේවි. අම්මා කල්පනාකාරී නොවුනොත් කිරි පෙනහලු දෙසට යන්නත් පුළුවන්. ඒ නිසා කිරි හිරවුන බව දැනුනොත් දරුවා පැත්තට හරවන්න ඕන.

අපේ අලුත් පැටියා....

ඔන්න ඉතින් නෑදෑ හිතවතුන්ට මේ අලුත් පැටියා හරිම වැදගත් සෙනහසින් පැටියා පිළිගන්න මේ අය රත්තරනින් තෑගි‍ ගෙනත් පළඳවනවා. බොහෝ වේලාවට මුදු වගේ දේවල් දැමීම සිදු වුනත් අම්මා ටිකක් අවධානයෙන් ඉන්න. මේ මුදු නිසා දරුවාගේ ඇඟිලි හිරවෙනවා. දාඩිය නිසා කැසීම . කුෂ්ට ඇති වෙන්න පුලුවනි. අපේ සෙනහස තිබුනත් පැටියාට ඒ නිසා අපහසුතාවයක් ඇති වුනොත් ....?

පැටියාගේ පිරිසිදු බව සහ පහසුව

පුංචි පැටියා මලක් වගේ පිරිසිදුවට තබා ගැනීම අම්මාගේ වගකීමක්. ඒ වගේම පැටියාගේ මල මුත්‍ර පිටවීමට මේ කාලයේදී පාලනයක් නැහැ. ඒ නිසා අපි අවධානයක් නොදැක්වුවොත් දරුවාට මල, මුත්‍ර පහවීම නිසා විවිධ ආසාදන, ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවන්. ඒ නිසාම අපි ඩයපර් ඇන්දවීම වඩාත් හොදයි. ඒත් ඩයපර් තෝරා ගැනීමේදිත් කිරිකැටියාගේ පහස ගැනත් සැලකිලිමත් වීම වැදගත්. අම්මලා විදිහට ඔබ ඩයපර් එකක් තෝරා ගැනීමේදී මේ ගැනත් හිතනන්න

ඩයපර් වර්ගය දරුවාගේ සුමදු සමට ගැලපීම

  • හොදින් වාතාශ්‍රය තමන් කිරීමට හැකි වීම.
  • තුනී ( ultra- thin ) වීම.
  • දරුවාගේ බරට අදාල වීම.

දරුවාගේ ආහාර

පුංචි බණ්ඩියට ආහාර අපි බලාපොරොත්තු වෙන විදිහට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉක්මනට ලොකු මහත් කර ගැනීමේ ආසාව ආහාර ලබා දීමට අපි ඉක්මන් වුනත් ඒ ගැනත් සැලකිල්ලෙන් කටයුතු කරන්න. දරුවාට ඔරොත්තු දෙන පෝෂණ සංයුතිය වගේම ආහාර පිසීමේදී පිරිසුද බව, පෝෂණය ආරක්ෂා වෙන විදිහට පිළියෙල කිරීම ගැනත් වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන.

ප්‍රතිශක්තිකරණ ලැයිස්තුව ගැනත් සැලකිල්ලක්...

නව ජන්ම අවස්තාවේ ලබා දෙන බි.සී.ජී ප්‍රතිශක්තියේ පටන් අනිවාර්යෙන්ම වයස අවුරුදු පහ සම්පූර්ණ වෙන දිනයට ලබා දෙන පිටගැස්ම ප්‍රතිශක්ති වේල දක්වා වූ ලැයිස්තුවත් අපි අමතක කරන්න නරකයි. අපේ පැටියා අනාගතයේ බොහෝ රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කිරීමට මේ ප්‍රතිශක්තිකරණ එන්නත් වැදගත් වෙනවා. ඉතින් සෙනෙහස අසීමිතව දක්වන අම්මලා මේ එන්නත් වේල් ගැන වගේම ඒවා ලබා දිය යුතු දින වකවාණු නම් අමතක කරන්න එපා. ඒ වගේම සායනයට ගියාම දරුවා විවිධ රෝගාබාධවලට පසුගිය කාලයේ ගොදුරු වුනා නම් ඒ ගැනත් කියන්න.සමහර අම්මලා එන්නත ලබා නොදෙයි කියල මේ කිසිම දෙයක් නොකියන අවස්ථාවනුත් තිබෙනවා. එච්චරක් නොවෙයි, එන්නත ලබා දුන්නාට පසුවත් පැටියාගේ සාමාන්‍ය හැසිරීම ගැන බොහොම ලොකු අවධානයක් දක්වන්න. යම් විදිහකින් සාමාන්‍ය හැසිරීමේ වෙනසක් තිබුනොත් දෙවතාවක් හිතන්න, අත්බේත් කරන්න යන්නේ නැතුව වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

පුන්‍යා චාන්දනී ද සිල්වා

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More