ළදරුවාට ආරක්ෂාව සැපයිය යුතු මේ කරුණු ගැන ඔබ දන්නවාද ?

By: - 2019 පෙබරවාරි 26
baby


අම්මා කෙනෙක් සති හතලිහක් පුරාවටම කුස තුළ වැඩෙන පුංචි පැටියා ඇස් දෙක වගේ ආරක්ෂා කරනවනේ. කෑම බීම, ගමන බිමන වගේම ඔබේ සමහර පුරුදුත් පැටියගේ ආරක්ෂාව වෙනුවෙන්ම අත්හරින්නට ඇති. දින සති ගෙවිලා පුංචි පැටියා දෝතට වැඩියට පස්සේ ගෙවිලා ගිය ඒ සති හතලිහටත් වඩා වැඩි පරිස්සමකින් පැටියව ආරක්ෂා කරන්න වෙනවා. අලුත් පරිසරයට ආගන්තුක චූටි පැටියාත් හරියට මලක් පිපෙනවා වගේ තමයි ඩිංග ඩිංග ලොකු වෙන්නේ. ඉතින් චූටි පැටියගේ ආරක්ෂාව දෙමාපියන් වෙන අපි තමයි සැලසිය යුත්තේ. උපතින් පසු පැටියගේ ආරක්ෂාව ගැන තව ටිකක් අපි කතා කරන්න හිතුවෙ ඒ නිසාමයි.

පැටියට ගුඩුස් යැව්වද?

කිරි බීලා බණ්ඩි ගෙඩිය පිරුණම චූටි පැටවුන්ට හොඳට නින්ද යනවා. හැබැයි අම්මාගේ හිතට බයක් ඇති කරවන කාරණය තමයි පැටියට ගුඩුස් හරියාකාරව නොයෑම. වසර කිහිපයකට පෙර නම් ගුඩුස් නොගියොත් බබාව මුණින් හෝ පැත්තට නිදිකරවන්න කියලයි වෛද්‍ය උපදෙස් ලැබුණේ. එහෙත් නවතම සොයා ගැනීම්වලට අනුව පර්යේෂකයෝ පවසන්නේ මුනින් හෝ පැත්තට නිදිකරවීමෙන් දරුවාට අනතුරක් සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නෙ ගුඩුස් නොගිය දරුවකු මුනින් අතට තබා ඇති විටක බඩ තද වීම නිසා වමනය ඇති වුවහොත් වමනය නාසය තුළට ඇතුළු වී සිරවීම නිසා දරුවාට හුස්ම ගැනීම අපහසු වී පැටියාගේ ජීවිතය පවා නැති විය හැකි බවයි. එනිසා හැකි සෑම විටම ගුඩුස් යවා දරුවාව උඩු අතට නිදිකරවීමට සුදුසු බව ඔවුන් ප්‍රකාශ කරනවා.

පැටියා නිදන ස්ථානය

මේ පුංචි පැටවුන්ගේ තොටිල්ල හෝ ඇදෙහි තබන දේවල් පිළිබඳවත් අම්මලාට හිතන්න වෙනවා. අපේ චූටි පැටවු නිදන කොට පැටියව තව ටිකක් සුව පහසුවට හා උණුසුම්ව තබන්න අපේ අම්මල පොරෝනයකින් පැටියව වහන්නත් පැටියගේ වටේ කොට්ට තියන්නත් පුරුදු වෙලා. පුංචි පැටියගේ අතට අහුවෙන දේවල් තදින් අල්ල ගන්න නිසා ඒවා අත හරින්නෙත් නැහැ. කොට්ට හෝ ළදරු බ්ලැන්කට් ඇදගෙන ඒවා එයාලගේ මුහුණේ දමාගන්න එයාලට ඒ හැටි වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඒත් ඒවා මුහුණට වැටුනම ඉවත් කර ගන්නට නොහැකි වීමෙන් පැටවුන්ගේ හුස්ම හිරවීමට ලක්වෙලා මේ පුංචි පැටවුන් අවාසනාවන්ත ලෙස මරණයකට ගොදුරු වන්නට පුළුවන්. අපි හුඟක් කාර්‍යය බහුල මව්වරුන්. ඉතින් අනතුරකට ඇති ඉඩ කඩ හැකිතාක් අවම කරන්න කටයුතු කළ යුතුයි. චූටි පැටවුන්ට අතට අහුවන මානයේ සැහැල්ලු පුංචි කොට්ට, ලිහිල් ඇඳ ඇතිරිලි කිසිවක් නොතබන්න වග බලා ගත යුතුයි.

පැටියා නාවනකොට පරිස්සමෙන්

බොහෝ විට අපේ නාන කාමර ටයිල් කරලනෙ තියෙන්නෙ. ටයිල් මතුපිට ලිස්සා යාම වැඩියි. පැටියා සෝදන්න නාවන්න යන විට බැරිවීමකින් හෝ දරුවා සමගම ලිස්සා යා හැකියි. එනිසා ඔබ ලිස්සා නොයන සෙරෙප්පු යුවලක් භාවිත කරන්න. නාන කාමරයේ පිටතට හොඳින් වතුර උරා ගන්නා පාපිස්සක් දමන්න. කොයිම මොහොතකවත් දරුවා වතුර බේසමෙහි තැබූ පසු පැටියට පිටුපා සිටීම හෝ තනිකර යාම නොකරන්න.

අම්මගෙ අත්තමගෙ කෙස් ගස්වලිනුත් පැටියට අනතුරක්

අපි හීනෙකින්වත් නොහිතන දේවල් නිසා අනතුරුකට මුහුණ පාන්න සිදුවෙන අවස්ථා ජීවිතේ කොතෙකුත් තිබෙනවා. දිග පුංචි කෙස් ගහකටත් පුළුවන් විශාල අනතුරක් කරන්නට. චූටි පැටවුන් අම්මලා, අත්තම්මලාගේ කේශ කලාපයට බොහොම කැමතියි. දුටු තැන අදිනවා. මේ අදින වෙලාවක කෙස් ගහක් පැටියගේ අතේ හෝ කකුලක පැටලුනොත් නම් එය අවදානම්. කෙස් ගහක් තදින් පැටලුණු පසු එයින් ඉහළට ලේ ගමනා ගමනයට අවහිර වීම නිසා පැටලුණු තැනින් ඉහළට අකල්මරණය විය හැකියි. එනිසා පැටියා ළගට යන විට ඔබේ හිස කෙස් තද වෙන්නට බැඳ තබා ගැනීම සුදුසුයි නේද?

සෙල්ලම බඩු දෙන්නෙ පරිස්සමින්

චූටි පැටවු හැමදේම නිරීක්ෂණය කරන්නේ කටේ දමලනෙ. පැටියට අතට දෙන රැට්ල් සහ වෙනත් සෙල්ලම් බඩුවල පහසුවෙන් ගැලවෙන කුඩා කෑලි තිබෙන්නට පුළුවන්. එවැනි කුඩා කෑලී ගැලවී පැටියගෙ උගුරෙ හිරවෙන්න පුළුවන්. එනිසා දරුවන්ට දෙන සෙල්ලම් බඩුවල ආරක්ෂාකාරී බව පිළිබඳව කීපවතාවක්ම හිතන්න.

දිශාන්ති වෙදගේ

සම්බන්ධිත ලිපි

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More