ගැබිනි සමයේ ඔබේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය හොඳින් පවත්වා ගෙනයන්න මේ කරුණු ගැනත් හිතන්න

By: - 2019 අගෝස්තු 22
baby


ගැබිනි බව කාන්තාවක් විෂයෙහි මහත් වූ ආශිර්වාදයක්. ඒ වගේම මේ කාලසීමාවේදී ගැබ් දරන මව කායික වගේම මානසිකවත් මහත් වෙහෙසකර තත්ත්වයකට පත් වෙනවා. එය සාමාන්‍ය සිදුවීමක්. නූපන් දරුවාගේ මුහුණ දකින තෙක් ඇය මේ සා අපහසුතාවයන් දරන්නේ බොහොම මැදිහත් සිතින් වගේම සතුටිනි. ඒ වගේම දරු පැටියාගේ මුහුණ දුටු සැනින් ඒ සියලු අපහසුතාවයන් හිරු දුටු පිනි බින්දු වගේ නොදැනීම අහෝසි වෙනවා.

ඉතින් දස මසක් පුරා ගර්භණී මව සුන්දරව ඉන්නේ කොහොමද....?

පිරිසිදුබව

ගැබිනි මවක් මොනතරම් ශාරීරික මානසික අපහසුතාවයන්ගෙන් පසු වුණත් ඇගේ පිරිසිදු බව ඉතාම වැදගත්. එය නූපන් පැටියාගේ සෞඛ්‍ය තත්ත්වය වගේම අම්මාගේ සෞඛ්‍ය තත්ත්වයත් ආරක්ෂා කරනවා. ගැබ් නිමිත්ත පහළ වූ තැන පටන් සෙනහසේ මුදු පහසින් ආරක්ෂා කරන දරු පැටියාගේ නිරෝගීතාවය අපිට ඉතාම වැදගත්. ඒ නිසා ගැබිනි මවගේ හිසේ සිට පාදාන්තය දක්වාම වූ පිරිසිදු බව ගැන නොසලකා ඉන්න බැහැ. එය ගැබිනි මවටයි, පුංචි කිරිකැටියාටයි දෙන්නාටම බලපානවා. ඒ විතරක් නොවෙයි, අම්මාගේ ලස්සනටත් හේතු වෙනවා. පිරිසිදුව ඉන්න ගැබ් ගත් මාතාවක් දකින අයටත් ඇය ගැන විශේෂ ලැදියාවක් ඇති වෙනවා. ඉතිං එහෙම නම් ගැබ් ගත් අම්මාගේ සුන්දරත්වයට ඇගේ පිරිසිදු බව මූලිකව බලපාන කාරණාවක්.

පිළිවෙළ

ගැබ් ගත්තාම විතරක් නොවෙයි, අපේ සාමාන්‍ය ජීවිතයේදී වුණත් කාන්තාවක් පිළිවෙළට සිටිනවා නම් ඇය කැපී පෙනෙන චරිතයක්. ඒත් ගැබ්ගත් කාලයේ පවතින ශාරීරික අපහසුතාවයන් නිසාම ඇති වෙන මානසික පසුබෑම නිසා මොන පිළිවෙළක්ද...? කියල හිතුවත් මේ පිළිවෙළ නිසා අම්මාගේ ලස්සන වැඩි කරනවා. එහෙන් මෙහෙන් එල්ලා ගත් ඇඳුම්...හිසකෙස්වත් හරියට නොපීරා අවුල් කර ගෙන හිටියොත් ඇගේ සාමාන්‍ය ලස්සන පවා නැති වෙනවා. ඒත් ගැබිනි කාලයේදී ඇති වෙන අපහසුතාවයන් සමග පිළිවෙළට සිටිනවා නම් ඉතාම අගෙයි. ඒ නිසාම ඇති වෙන සුන්දරත්වය ඇයට ආශිර්වාදයක්.

ඇඳුම්

සාමාන්‍ය දවසකදී අනුගමනය කළ විලාසිතාවන් දැන් ටිකක් තාවකාලිකව නවත්වන්න වෙනවා. විවිධ ආලේපන නිසා දරු පැටියාටත් අයහපතක් වෙන්න පුළුවනි. ඒ නිසා රසදිය අන්තර්ගත විවිධ රසායනයන් ආලේපන සඳහා අම්මලාම තහංචි පනවා ගන්නත් ඕන. මේ සියල්ල අතරේ ඇඳුම් ගැනත් සැලකිලිමත් වීම වැදගත්. සමහර අම්මලා අඳින ගර්භණී ඇඳුම් නිසාම ඒ අයගේ සුන්දරත්වයත් නැති වෙලා ගිහින්. ඉතිං ගැබිනි ගවුම් අදින විට සාමාන්‍ය දිගකින් ලා වර්ණ වගේ දේවල් තෝරා ගන්න පුළුවනි. උදරය නෙරා එන විට ගවුම ඉහළට ඇදෙන නිසා ඒ ගැනත් සැලකිල්ලක් යොමු කරල තමන්ගේ ලස්සන ඉස්මතු වෙන විදිහට ගැබිනි ඇඳුම් වගේම පාවහන් ආදිය තෝරා ගැනීමට අම්මලාට නිදහස තිබෙනවා.

මානසික සැහැල්ලුව

මේ කාලයේදී හිත හරිම දෙගිඩියාවකින් පීඩාවට පත් වෙලා ඉන්නවා. ලස්සන පැටියාගේ මුහුණ දකින දිනය ගැන නොඉවසිල්ලෙන් සිටින අතරේ ඒ වේදනාත්මක අත්දැකීම ගැනත් නොහිතනවාම නොවෙයි. ඒත් මේ සියල්ලම කාලයට ඉඩ දීලා නිහඬව සිටියොත් අම්මාගේ ලස්සනට බාධාවක් නැහැ. සමහර අම්මලා සායනයේදී අනිත් අම්මලාගේ අත්දැකීම් බෙදා හදා ගෙන අනියත බියකින් පසුවෙනවා. මේ බිය නිසා ඇති වෙන අහිතකර හෝමෝන අම්මාගේ ලස්සන නැති කරනවා. ඉතින් නිතරම මානසිකව සතුටින් සිටින්න නම් අනවශ්‍ය කුණු කන්දල්වලින් හිත පුරවා ගන්න එපා.

ආගමික කටයුතු

ඔබ කුමන ආගමක් ඇදහුවත් ඒ ආගමේ හැටියට ඔබට යම් යම් ආශිර්වාදාත්මක කටයුතු තිබේවි. නිතරම ඒ වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දෙන්න. ගැබිනි කාලයේ වගේම හැමදාම සුන්දරව සිටින්නත් අපේ හිතේ තිබෙන සිතුවිලි බොහොම වැදගත්. ඒත් ආගමික කටයුතුවල නිරත වෙද්දී අපේ හිතට ඇති වෙන ආධ්‍යාත්මික ගුණ වගාවන් නිසා සතුටින් දවස ගෙවන්න පුළුවනි. එයින් ලැබෙන ආශිර්වාදය කිරි කැටියාට වගේම අම්මාටත් වැදගත්.

ආහාර

"දැන් ඉතින් වෙනදා වගේ නොවෙයි, හොඳට කන්න බොන්න ඕන...". මේ වැඩිහිටියන්ගෙන් ලැබෙන අවවාදයයි. එය ඇත්ත. ගැබිනි මවගේ පෝෂණය දරු පැටියාටයි අම්මාටයි දෙන්නාටම බලපානවා. අලුත් එළවළු, පලතුරුවලින් ආහාර වේල සකස් කර ගැනීම ඉතාම වැදගත්. යකඩ ඌනතාවයන් වගේම වෙනත් පෝෂණ ඌනතාවයන්ගෙන් අම්මා පීඩා විදින්න පටන් ගත්තාම ඇගේ සුන්දරත්වය නැති වෙන්න පුළුවනි. හිසකෙස්, දත්, නිය වැනි ශරීරාංගයන්ගේ පෝෂණයට ආහාර ඉතාම වැදගත්. ඒ නිසා ලස්සනට ඉන්න කැමැති අම්මලා ඔන්න මතක තබා ගන්න ඔබේ පෝෂණය ගැන නම් වැඩියෙන් අවධානයක් දෙන්න. එහෙම වුනාම ඔබත් සුන්දරව සිටින අතරවාරයේ ලස්සන කිරි කැටියෙක් මේ ලෝකයට බිහි කිරීමේ ආශිර්වාදයත් ලැබෙනවා සිකුරුයි.

භාවනාවක යෙදෙන්න

භාවනාව කිව්වාම අපේ හිතේ ඇති වෙන්නේ ආගමික සංකල්පයක් වුනත් භාවනාවේ යෙදීමෙන් මානසිකව ඇති වෙන ඒකාග්‍රතාවය හිතේ සතුට වෙනුවෙන් හේතු වෙනවා. හිතේ සතුට නිසා බාහිරවත් ඕනෑම පුද්ගලයෙකුගේ සුන්දරත්වයක් ගොඩ නැගෙනවා. ඒ නිසා ගැබිනි මවටත් භාවනාවේ යෙදීමෙන් තමන්ගේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට පුළුවනි.

ව්‍යායාම

ගැබිනි කාලයේදී නිසි විදිහට ව්‍යායාමවල යෙදුනොත් තමන්ගේ සිරුරේ හැඩය වගේම දරු උපත වෙනුවෙන් යම් පහසුවකුත් ඇති වෙනවා. ඒ වුනත් ඉවක් බවක් නැතුව ව්‍යායාමවල යෙදීම අනුමත කරන්නත් බැහැ. භෞත චිකිත්සකවරයෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ව්‍යායාම පන්තියක් අනුමත කර ගෙන ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් ගැබිනි මවට සුන්දරත්වයෙන් සිටින්න පහසුවක් වේවි.

සුවදායක නින්දක්

ගැබිනි කාලයේ අවසාන වෙත්ම නින්දට තිබෙන අපහසුව නිසා ඇති වෙන ශාරිරික අපහසුතාවයන් නිසාම ඇගේ සුන්දර පෙණුම අඩු වෙන්න පුළුවනි. සුවදායක විදිහට නින්දක් නොලැබෙන විට ඇස්වල සහ මුහුණේ ඇති වෙන විඩාබර ගතිය, ඇස් වටා කලු වීම වැනි අතුරු සලකුණු ඇති වෙනවා. ඒ නිසා ගැබිනි මවට සුවදායක නින්දක් ලබා ගැනීමට හැකි සහ ඇගේ පහසුව ඇති වන සේ කටයුතු සලසා දීම ඉතා වැදගත්.

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More