එළවළු කූඩෙන් ඔබේ දරුවාට මෙන්න මේ දේවල් උගන්වන්න

By: - 2019 මැයි 8
baby


ඔන්න දැන් අපේ පැටියා තොටිල්ලෙන් පිටට ඇවිත් හිට වැටි වැටී ඇවිදිනවා. ඒ අතරේම තතන තතනා වචනත් කියන්න පටන් ගෙන. දැන් අම්මාට ඉස්සර වගේ මුළුතැන්ගෙයි කටයුතු වුනත් පහසුවෙන් කරන්න ලැබෙන්නේ නැහැ. හිටි ගමන් ඇවිත් එළවලු කූඩය අවුල් කරාවි. ඒත් එහෙම වෙලාවට පැටියාව අරගෙන මුලුතැන්ගෙයින් පිටතට යන්න එපා. සමහර විට අම්මාට පුංචි පුංචි සැක තැන් ඇති වෙන්නත් පුලුවනි. එළවලු තලලා පොඩි කරල දමයිද...? මේවා අමුවෙන් කාලා දැම්මොත්...? එලවලුවල තැවරිලා තියෙන වැලි පස් නොදැනීම ඇතුළු වෙලා දරුවාට විෂබීජ ඇතුලු වුනොත්..ඒත් මේ කරුණු සමග අම්මාට එලවළු කූඩයකින් දරුවාට බොහෝ දේ උගන්වන්න පුලුවනි.

සමාන දේ එක්තැන් කරන්න...

එලවළු කූඩයක වර්ග සහ වර්ණ බොහොමයක් තිබෙනවා. වැඩිමහල් වයසේ දරුවෙක් නම් මේවා වර්ග, වර්ණ අනුව වෙන් කරන්න දන්නවා. ඒත් වයස අවුරුදු එකක දරුවෙකුගෙන් අපිට ඒ විදිහට බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් දරුවාට වයස අවුරුදු දෙකක් පමණ වෙද්දී යම් විදිහකින් සමාන දේ එක්තැන් කරන සංකල්පයන් ගැන අවබෝධයක් මේ අවස්ථාවන් මගින් ලබා දෙන්න පුලුවනි. උදාහරණයක් විදිහට සමහර විට දරුවා බෝංචි කරල් කීපයක් අරගෙන එක තැනක තබාවි. එහෙම නැත්නම් බටු ගෙඩි දෙක තුනක් එකතැනකට ගනීවි. වයස අවුරුදු තුනක් පමණ වෙද්දී පැටියාට හොඳටම එළවලු වර්ග තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අවුරුදු තුනක් වැනි වයසකදී ඇසුරුම් කීපයක් දීලා “පැටියෝ එක ජාතියේ ඒවා එක මල්ලකට දාන්න” කිව්වොත් අපූරුවට ඒ දෙය ඔවුන් කරාවි. ඒ කියන්නේ සමාන දේ එක් තැන් කිරීමේ ශිල්පය අම්මා හොඳින් උගන්වා තිබෙන හැඩයි...

හසුරු කුසලතාවයන්ටත් අගෙයි...

අපේ අම්මලා දරුවන් වැලි සෙලල්ම් එහෙම නැත්නම් කෝම් පිට්ටු උයන සෙල්ලම් කරද්දී බයයි. ඇයි වැලි දූවිලිවලට අතේ කුෂ්ට ඇති වුනොත්...? ඒත් අලුත් මනෝවිද්යාඥන්ගේ පෙන්වා දීම් අනුව වැලි සහ වතුර සමග දරුවා ක්‍රිඩා කරද්දී ඇගිලි තුඩුවලට ලැබෙන උත්තේජනය නිසා ඔවුන්ගේ හසුරු කුසලතාවයන්ට වඩාත් හොද පසුබිමක් ලැබෙනවා. ඉතින් එළවලු කූඩයකදීත් දරුවා එක් එක් එළවලු වර්ගය ස්පර්ශ කරන්නේ ඒක් එක් විදිහටයි. පැටියා තක්කාලි ගෙඩියක් අතට ගන්නා රටාවට වඩා කැරට් අලයක් එහෙම නැත්නම් බණ්ඩක්කා කරලක් අල්ලන විදිහ වෙනස් වෙන්න පුලුවනි. ඒත් ඔහුගේ ලපටි ඇගිලි සමග මේ එළවලු වර්ග ගැටෙද්දී නොදැනීම ඇති වෙන ස්නායු උත්තේජනය නිසා අනාගතයේදී පැටියාගේ හැකියාවන් දියුණු තියුණු කර ගැනීමටත් පුලුවනි.

වර්ණ...

ස්වභාව ධර්මයේ තරම් වර්ණ හදුනා ගැනීමට ගැලපෙන තෝතැන්නක් තවත් නැහැ. සොබා දහමට මේ තරම් ලස්සන පාට දුන්නේ කවුද කියලා හිතා ගන්නත් බැහැ. ඒ නිසා දරුවාට එලවලු වට්ටියෙන් වර්ණ ගැන හෝ වැටහීමක් ලැබේවි. සාමාන්‍යයෙන් දරුවන් රතු සහ කහ වැනි වර්ණයන්ට ඉතා කැමැතියි. වයස අවුරුදු තුනක් පමණ වෙද්දී පැටියා තක්කාලි ගෙඩියකින් රතු වර්ණය ගැන සංකල්පයන් ගොඩ නගා ගන්නවා. බටු ගෙඩියකින් සැබෑම දම් වර්ණය ඔවුන් හදුනා ගනීවි.

ගණිත සංකල්පත් පුලුවනි...

පෙර පාසලකටවත් යන්න පෙරාතුව දරුවාට මොන ගණිත සංකල්පද....? ඔබ මේ විදිහට හිතුවත් ඇත්තටම යම් යම් ගණිත සංකල්ප ගැන හෝ වැටහීමක් එළවලු කූඩයකින් ලබා ගන්න පුලුවනි. කැරට් අලයක් අතට අරගෙන එකායි...කියන දරුවා ඊළගට බටු ගෙඩියකින් දෙකායි...යන දැණුම ලබාවි. මහ විශාලයට නොවුනත් එක, දෙක, තුන යන ගණිත සංකල්ප දැන හදුනා ගැනීමට මේ එලවලු කූඩුව හොදටෝම ප්‍රමාණවත් වේවි.

පරිසරය හදුනා ගන්න...

ඔබේ ගෙවත්තේ තිබෙන අමුමිරිස් පැලය, බෝංචි මැස්ස, වම්බටු පැලයේ සමහර විට පලදාව තිබුනොත් වයස අවුරුදු තුනක පමණ පැටියෙක් ඒ වම්බටු, තක්කාලි හෝ බෝංචි බව හොදින්ම තේරුම් ගනිවි. පරිසරයේ පාඩමත් දැන් එලවලු කූඩයෙන් අම්මා පැටියාට ලබා දී අවසානයි.

සංවේදන හදුනා ගන්න...

මනෝ විද්‍යාඥයින් කියන විදිහට දරුවෙකුට හා..හා...ගින්දර පිච්චෙයි කිව්වාට ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒත් යාන්තමින් හෝ අතට එහෙම නැත්නම් ඇගිල්ලට ගිනි රස්නය දැනුන දවසට එයි දැවිලි සහගත බව තේරුම් ගනීවි. ඒ වගේම අමුමිරිස් කරලකින් දැවිලි බව, කොහිල අලයක කටු ඇති බව වැනි දැනීම් හදුනා ගැනමටත් එලවලු කූඩය හො අත්වැලක් ලබා දෙනවා.

ඒ නිසා පැටියාගේ අනාගතයට අවශ්‍ය බොහෝ කුසලතාවයන් මුලුතැන්ගෙයි තිබෙන එළවලු කූඩයෙන් පැටියාට කියා දෙන්න පුලුවනි.

පුන්‍යා චාන්දනී ද සිල්වා
පුස්තකාලාධිපතිනි
මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීටය

Terms and conditions

All the articles and videos that publish on Baby Cheramy website is an intellectual property of the Hemas Manufacturing (Pvt) Ltd. It’s illegal to publish our articles or images on other websites, printed media or electronic media without having a written permission of the company.Read More